සිර දඬුවම් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් රුවන්ජීව ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ රැඳවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ පස්වරුවේ රැගෙන ආ ඔවුන් දෙදෙනා පළමුව සිරකරුවන් ලෙස ලියාපදිංචි කෙරුණා. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාට ජම්පරය ද ලබාදී ‘කේ’ වාට්ටුවේ රැඳවූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
දීර්ඝ කාලීන සිරදඬුවම් නියම වී සිටින තවත් සිරකරුවන් 100 දෙනෙකු සමඟ එම වාට්ටුවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා රඳවා තිබෙනවා. සිර දඬුවම් නියම වූ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් මහතා ද රඳවා සිටින්නේ එම වාට්ටුවේ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ.
හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට බරපතල වැඩ සහිත වසර 25 ක සිර දඬුවම් සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතාට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම වුණා. නලින් ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ හතරක දඩයක් සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද නියම කරනු ලැබුවා. ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව දුන් තීන්දුවකට අනුවයි.

0 Comments